
ඒත් ඔබ දන්නවාද? ඇපල් ආරම්භය සිදුවූයේ බටහිර රටවලින් නොව, ආසියාවෙනි. හරියටම කීවොත්, මධ්‍යම ආසියාවේ කසක්ස්තානයෙනි.
ලොව පුරා සිටින මිලියන ගණනක් මිනිසුන්ගේ ප්‍රියතම පලතුරක් වන ඇපල් ගෙඩිය, එහි මූලාරම්භය සහ ව්‍යාප්තිය පිළිබඳ අතිශය රසවත් කතාවකට උරුමකම් කියයි. අද අප දකින විවිධ ඇපල් වර්ග බිහිවීමට පෙර, මෙම පලතුරේ මූලයන් ඈත අතීතයට දිව යයි.
ඇපල් ගෙඩියේ මූලාරම්භය මධ්‍යම ආසියාව ලෙස සැලකෙයි. විශේෂයෙන්, වර්තමාන කසක්ස්තානයේ ටියැන් ෂාන් කඳුකරය, වල් ඇපල් විශේෂයක් වන මැලස් සීවර්සියායි (Malus sieversii) ශාඛයේ උපන් ස්ථානය ලෙස හඳුනා ගෙන ඇත. මෙම වල් ඇපල් වර්ගය, අද අප භුක්ති විඳින සියලුම ගෘහස්ථ ඇපල් වර්ගවල පොදු මුතුන්මිත්තා ලෙස විශ්වාස කෙරේ. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ, මිනිසුන් වසර දහස් ගණනකට පෙර සිට මෙම වල් ඇපල් වර්ගය පරිභෝජනය කර ඇති බවය.
මෙම ප්‍රදේශයේ සිටි පුරාණ සංචාරකයන් සහ වෙළෙන්දන්, සේද මාවත ඔස්සේ ගමන් කරද්දී ඇපල් බීජ රැගෙන ගොස් ඇති අතර, එමගින් ඇපල් ගෙඩිය ක්‍රමයෙන් බටහිර දෙසට ව්‍යාප්ත වීමට පටන් ගත්තේය.
ඇපල් ගෙඩියේ ව්‍යාප්තියට විවිධ සංස්කෘතීන් සහ අධිරාජ්‍යයන් දායක විය. ක්‍රි.පූ. 4 වැනි සියවස වන විට ඇපල්, ග්‍රීසියට සහ පසුව රෝමයට පැමිණියේය. රෝමවරුන් ඇපල් වගාව වැඩි දියුණු කළ අතර, විවිධ ප්‍රභේද වර්ධනය කිරීමට උනන්දු විය. ඔවුන් යුරෝපය පුරා තම අධිරාජ්‍යය ව්‍යාප්ත කරන විට, ඇපල් ගස් ද ඒ සමඟම ව්‍යාප්ත විය.
රෝමවරුන් ඇපල් බද්ධ කිරීමේ තාක්ෂණය ද හඳුන්වා දුන් අතර, එමගින් රිසි පරිදි සහිත ඇපල් වර්ග බෝ කිරීම පහසුවක් විය. මධ්‍යතන යුගයේදී, යුරෝපයේ ආරාම සහ ගොවිපළවල් වල ඇපල් වගාව තවදුරටත් ව්‍යාප්ත විය. ඇපල් යුරෝපීය ආහාර වේලෙහි වැදගත් අංගයක් බවට පත් වූ අතර, අමු ආහාරයට ගැනීමට අමතරව, සයිඩර් සෑදීම සඳහා ද බහුලව භාවිතා විය. 17 වැනි සියවසේදී යුරෝපීය පදිංචිකරුවන් සමඟ ඇපල් උතුරු ඇමරිකාවට පැමිණියේය. මුලින් ඔවුන් යුරෝපයෙන් බීජ ගෙන ආ නමුත්, ඇමරිකානු දේශගුණයට අනුවර්තනය වෙමින් නව ප්‍රභේද බිහි විය. ඇමරිකාවේ ඇපල් ව්‍යාප්තියට ජොනී ඇපල්සීඩ් ලෙස ප්‍රසිද්ධ වූ ජෝන් චැප්මන් වැන්නන්ගෙන් විශාල දායකත්වයක් සැපයීය.
චැප්මන්, 18 වැනි සියවසේ අගභාගයේ සහ 19 වැනි සියවසේ මුල් භාගයේදී ඇමරිකාව පුරා ඇපල් බීජ රෝපණය කළේය. 19 වැනි සහ 20 වැනි සියවස් වන විට, කෘෂිකාර්මික තාක්ෂණයේ දියුණුවත් සමඟ ඇපල් වගාව ගෝලීය වශයෙන් ව්‍යාප්ත විය. ශීතකරණ තාක්ෂණය සහ ප්‍රවාහන පහසුකම් දියුණු වීමත් සමඟ, ඇපල් ගෙඩිය ලොව ඕනෑම ප්‍රදේශයකට පහසුවෙන් ප්‍රවාහනය කිරීමට හැකි විය.
අද වන විට, ඇපල් ලොව පුරා රටවල් රැසක වාණිජමය වශයෙන් වගා කරන අතර, ගෝලීය වෙළඳපොළේ ප්‍රමුඛ පලතුරක් බවට පත්ව ඇත.
අප එක රටකින් ගෙනා ඇපල් ගෙඩියක් වෙනත් රටක වෙනත් පරිසරයක පැල කළොත්, සෑදෙන ඇපල් ගෙඩි මවු ගෙඩිය මෙන් නොව, සම්පූර්ණයෙන් වෙනස් රසක් ඇති ගෙඩියක් බවට පත් වෙයි. ඇපල්වල විශේෂත්වය වන්නේ මෙයයි. අද වන විට, ලොව පුරා ඇපල් වර්ග 7,500කට අධික ප්‍රමාණයක් පවතින බව ගණන් බලා ඇත. මෙම විවිධත්වය, ඇපල් ගෙඩියේ දීර්ඝ ඉතිහාසය, අනුගත වීමේ හැකියාව සහ මිනිසා විසින් සිදු කරන ලද වගා කිරීමේ උත්සාහයන්ට සාක්ෂියකි. මධ්‍යම ආසියාවේ කසක්ස්තානයේ වල් ගසක සිට ලොව පුරා රටවල් ගණනාවක ප්‍රධාන වාණිජ බෝගයක් දක්වා ඇපල් ගෙඩියේ ගමන, සොබාදහමේ සහ මිනිසාගේ අන්තර්ක්‍රියාවේ අපූරු කතාව බවට සැකයක් නැත.
ඇපල් වල ද්‍රාව්‍ය තන්තු (soluble fiber) අඩංගු වන අතර, එය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. ඇපල්වල පෙක්ටින් (Pectin) නම් තන්තු වර්ගය අඩංගු වන අතර, ඒවා අප සිරුරේ නරක කොලෙස්ටරෝල් (LDL) අඩු කිරීමට උපකාරි වෙයි. ඇපල් වල ඇති පොලිෆෙනෝල් (polyphenols) රුධිර පීඩනය අඩු කිරීමටත්, ආඝාතය ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් උපකාරී වේ. ඇපල් වල ග්ලයිසමික් දර්ශකය (Glycemic Index - GI) අඩු වන අතර, එය රුධිර සීනි මට්ටම ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වෙයි. ඇපල් වල අඩංගු තන්තු සහ පොලිෆෙනෝල්, ශරීරයේ ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීමටත්, දෙවන මට්ටමේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් දායක වන බව අධ්‍යයනවලින් හෙලි වී ඇත.
ඇපල් වල තන්තු අධික වන අතර ජලය ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩංගු වෙයි. ශරීරයේ බර පාලනය කර ගැනීමටත්, බර අඩු කර ගැනීමටත් ඇපල් උදවු වෙයි.
ඇපල් වල ඇති තන්තු, විශේෂයෙන් පෙක්ටින්, ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමට ඉතා වැදගත්ය. එය බඩවැල්වල ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වා ගැනීමටත්, මලබද්ධය වැනි ගැටලු අවම කිරීමටත් උපකාරී වෙයි. පෙක්ටින්, බඩවැල්වල ඇති හිතකර බැක්ටීරියා වර්ධනයට ද උපකාරී වන පෙරබයෝටික් (prebiotic) ලෙස ක්‍රියා කරයි. ඇපල්වල ප්‍රතිඔක්සිකාරක ගුණය ඇත. පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් ඇපල් දායක වෙයි.
විශේෂයෙන්, පෙනහළු, මහා බඩවැලේ සහ පියයුරු පිළිකා අවදානම අඩු කිරීමට ඇපල් වලට හැකියාවක් ඇති බව වෛද්‍ය අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත.
ඇපල්වල ඇති විටමින් C ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ආසාදනවලින් සහ රෝගවලින් ශරීරය ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය වෙයි. ඇපල් වල ඇති ප්‍රතිඔක්සිකාරක, මොළයේ සෛල ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කිරීමට උපකාරී වෙයි. සමහර අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ ඇපල් පරිභෝජනය ඇල්සයිමර් රෝගය වැනි ස්නායු ආබාධ ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී විය හැකි බවය.
ඇපල් වල අඩංගු ෆ්ලේවොනොයිඩ් (flavonoids) සහ අනෙකුත් සංයෝග අස්ථි ඝනත්වය වැඩි කිරීමට සහ ඔස්ටියෝපොරෝසිස් (osteoporosis) වැනි අස්ථි රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි. ඇපල් ආහාරයට ගැනීමෙන් දත් සහ විදුරුමස් පිරිසිදු වෙයි. ඇපල් සපා කෑමෙන් කෙල නිෂ්පාදනය උත්තේජනය වන අතර, එය දත්වල බැක්ටීරියා වර්ධනය අඩු කිරීමට දායක වෙයි.
ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි